ජීවිතය සුන්දරයි

Posted by sisirahb | Posted in Uncategorized | Posted on 01-02-2010

මම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කළා. ඒ ප්‍රාර්ථනාව මේ දේශය ගැන මහා බලාපොරොත්තු තබාගෙන ඉතාමත් ම අවංකව හදවතින් ම කළ ප්‍රාර්ථනයක්. ඇත්තෙන්ම මම ඔහුගේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කළේ ප්‍රධාන වශයෙන් ම කරුණු දෙකක් පදනම් කරගෙනයි. එක් කරුණක් වූයේ යම් හෙයකින් සරත් ෆොන්සේකා දිනුවොත් රට ලේ විලක් වන්නට ඉඩ ඇතැයි යන සැකය මා තුළ තිබූ නිසයි.

අනෙක් කරුණ වන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ජයග්‍රහණය කළොත් ඔහු වඩාත් හොඳ නායකයෙක් වන බවට මා තුළ තිබූ විශ්වාසයයි.

මේ කරුණු දෙකම මගේ හද තුළට කිඳා බැස තිබුණේ මම මගේ මවුබිමටත් එහි ජනතාවටත් ඉතාමත් ආදරය කරන නිසා බවත් මම දන්නවා.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙනෙන වැඩක් නොකළත් පුවත්පත් ඔස්සේ මගේ අදහස් ඉදිරිපත් කිරීම මඟින් සුළුවෙන් හෝ එයට දායක වුණා යැයි මම හිතනවා. ඇත්තෙන්ම ඒ තීරණාත්මක අවස්ථාවේ මගේ යුතුකම ඉටුකළා යැයි මේ මොහොතේ ඉතාමත් අහිංසක තෘප්තියක් හා ආශ්වාදයක් ලබනවා.

පත්තර කියවූ බොහෝ අය මගෙන් බොහෝ ප්‍රශ්න ඇසුවා.

”සුනිල් අයියේ උඹල දිනුම් නේද?”

ඒ ප්‍රශ්නවලට පිළිතුරු නොදී මම හිනාවුණා පමණයි. බොහෝ කලක සිට මගේ සිතේ මහින්ද ගැන කිසියම් අන්දමක ගරුත්වයක් සහ ආදරයක් තිබූ නමුත් පුවත්පත් මගින් අදහස් ඉදිරිපත් කළේ ඔහුට තිබූ ආදරය නිසාම නොව රටටත් ආදරය කිරීම නිසා බව ඔවුන්ට කීමෙන් පලක් නැති බව මම හිතුවා. තවත් බොහෝ අය නැගූ අනිත් ප්‍රශ්නය පෙර ප්‍රශ්නයට වඩා වැදගත් යැයි මට හිතෙනවා.

”සුනිල් අයියේ, පත්තරවල ගිය දේවල්වලට ජේ.වී.පී. එකෙන් විරෝධයක් ආවේ නැද්ද?”

”එහෙම දෙයක් නම් වුණේ නැහැ මල්ලී”

ඒත් මගේ අදහස් ඉදිරිපත් කළ එක හොඳ යැයි පවසා බොහෝ අය කතාකළ බව මට මතක් වුණා. මම ඉතාමත් ආදරය කරන ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් මැරෙන්න වුණත් සූදානම් මගේ මිත්‍රයින් දෙදෙනෙක් ඒ සමඟම මතක් වුණා. එක් කෙනෙක් මිරිස් කඩේ ගාමිණී. ඔහු කතා කළේ තරමක් වේදනාවෙන් වගේ.

”සුනිල් අයියේ, උඹට තියෙන ආදරේ පොඩ්ඩක්වත් අඩුවෙන්නෙ නැහැ. ඒත් මොනවද බං මේ පත්තරවලට ලියන්නෙ.

අපි උඹේ මතය පරාජය කරනවා.”

”අපි ඒ ගැන පස්සෙ කතා කරමු”

අනිත් එක්කෙනා සමන්ත.

”සුනිල් අයියේ, මේ ප්‍රශ්නය ඇහුවට මාත් එක්ක තරහ වෙන්න එපා. මම බොහෝ දේ ඉගෙන ගත්තේ සුනිල් අයියගෙන්. මගෙ මඟුලට අස්සන් කරන්න කියල කියපු වෙලාවෙ තිබුණ ආදරෙන්මයි මේ කතා කරන්නෙ. ඒ ආදරය වෙනස් වෙන්නෙ නැහැ. ඒත් සුනිල් අයියෙ මොනවද බං මේ ලියන්නෙ.”

මම ඔහුටත් පිළිතුරක් නොදී පස්සෙ කතා කරමු කීවා.

ඒත් ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය පිළිබඳව මගේ හිතේ තිබූ දේවල් කතා කරන්න ලැබුණේ සුසන්ත ආ පසුවයි.

”මචං සුසන්ත, මහින්දට ඕනැ නම් මේ රට ස්වර්ගයක් කරන්න පුළුවන්. මිනිස්සු ඒක බලාපොරොත්තු වෙනවා.”

”ස්වර්ගයක්” කියමින් සුසන්ත හිනාවුණා.

”ඔව් මචං, කොමියුනිස්ට් වාදයද සමාජවාදය ද ධනවාදය ද නැතුව රටක් ස්වර්ගයක් කරන්න පුළුවන්. හැබැයි ඔක්කොටම ඉස්සෙල්ලා මිනිස්සුන්ගේ මනස වෙනස් කරන්න වෙනවා. අපිට අලුත් සාහිත්‍යයක් අවශ්‍ය වෙනවා. අලුත් සිනමාවක් අවශ්‍ය වෙනවා. මනස වෙනස් කරන්න කිව්වේ රටට ආදරය කරන මිනිසුන් ටිකක් බිහිකරන්න ඕනැ. ඇත්තෙන් ම එහෙම බිහි කරන්න බැහැ. හදන්න ඕනැ. ඒකයි මම අලුත් සාහිත්‍යයක් ඕනැ කිව්වේ. ඔය දේ ගෝර්කි කිව්වා. ඊට පස්සෙ යෙව්ටිෂෙන්කෝ කිව්වා. ඔහු ඒක කිව්වෙ මෙන්න මෙහෙමයි.

… යුද්ධයෙන් පසු බිහිවූ අලුත් සාහිත්‍යය මේ දේශයට ප්‍රේමකරන සාධාරණත්වයට ගරු කරන මිනිසා මිනිසාට ආදරය කරන අලුත් මිනිසකු නිර්මාණය කළා. මේ දේශය යළි ගොඩ නැගෙන්නේ ඔහු තුළින්මයි. මේ දේ්ශය යළි ගොඩ නඟන්නේ ඔහු විසින්මයි…

”සුනිල් අයියා මීටින් එකක කතා කරනව වගේනේ”

සුසන්ත හිනාවෙමින් කිව්වා.

”නෑ සුසන්ත. ඔය මම කියන අලුත් මිනිසා නිර්මාණය කිරීම ලේසි වැඩක් නෙවෙයි. ඕනැම රටක සංවර්ධනය කඩා වැටුණොත් ආර්ථික කඩා වැටුණොත් මොන ක්‍රමයකින් හරි ඒවා යළි ගොඩනඟන්න පුළුවන්. ඒත් කිසියම් රටක සදාචාරය බිඳ වැටුණොත් ඒ රට ගොඩගන්න ලේසි නෑ. මම කිව්ව ඒ අලුත් මිනිසා සදාචාරාත්මක මිනිහෙක්.”

සුසන්ත මා දිහා පුදුමයෙන් බලා හිටියා.

”ඒක නීති දාලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දීර්ඝ කාලීන සැලැස්මක් මත කළ යුතු දෙයක්. රටට ආදරය කරන මේ රටේ ජනතාවට ආදරය කරන මේ රටේ සංස්කෘතියට හැදියාවට ආදරය කරන මිනිස්සු ටිකක් එකතු වෙලා ඒ සැලසුම හදන්න ඕනැ. ඒ දේ එක පැත්තකින් වෙන කොට අපි ඊළඟ පරම්පරාව ගැන හිතන්න වෙනවා. අපේ දරුවො ගැන හිතන්න වෙනවා. කොහොමටත් ලොකු මිනිස්සු හදනවට වඩා දරුවො හදන එක ලේසියි. අතීතයේ පටන්ම අපේ රටේ හැම ආණ්ඩුවක් ම කාටහරි සංස්කෘතික අමාත්‍යංශය බාර දෙන්නෙ නොදී බැරිකමට. “ඔන්න ඕක තමුසෙ ගන්නවා” කියල දෙන එකක්. ඒත් මම හිතන විදිහට අපේ වගේ රටක වඩාත් ම වැදගත් වන්නේ සංස්කෘතික අමාත්‍යංශයයි. ඕනැම තරම් ගොඩනැගිලි හදයි. ඒත් සංස්කෘතිය විනාශ වුණොත් වැඩක් නෑ. මම අර කිව්ව පුංචි දරුවා හදන්න සංස්කෘතික අමාත්‍යංශය මුල් විය යුතුයි.”

”සුනිල් අයියා ඉස්සරත් ඔය වගේ කතාවක් කිව්ව නේද”

”ඔව් මචං උඹට මං කිව්වා තමයි. ජනතා විමුක්ති පෙරමුණට සංස්කෘති අමාත්‍යංශය ලැබුණ වෙලාවේ මම බොහොම සතුටු වුණා. ඒ කාලයේ මම ඔය වගේ සැලැස්මක් හැදුවා, සදාචාරාත්මක බුද්ධිමත් දරු පරපුරක් ගොඩනැගීම සංස්කෘතික අමාත්‍යංශයෙන් කෙරෙන්න ඕනැ වැඩක් හැටියටයි මම දකින්නෙ. ඒ වුණත් ඒ ගොල්ලො මගෙන් ඒ වගේ ඵලවත් ප්‍රයෝජනයක් ගත්තෙ නෑ. කොටින්ම කතා කෙරුවෙවත් නෑ. ඉතිං මගෙ ඒ අදහස් එළියට ගන්න පුළුවන් වුණේ නෑ.”

”සුනිල් අයියෙ මං එක ඉල්ලීමක් කරන්නද. ඒ ප්ලෑන් එක ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන්න. බොහෝවිට ඔහු ඒක කරන්න ඉඩ තියෙනවා.

එකම ප්‍රශ්නෙ තියෙන්නෙ සුනිල් අයිය ලියන දේවල් ජනාධිපතිතුමාට කියවන්න ලැබෙන්නෙ නැහැනෙ.”

”සුසන්ත මචං උඹ දන්නවනෙ මං ගැන. මේක මම අනාගත පරපුරට ආදරෙන් කරන දෙයක්. ඒ නිසා මේක මම ජනාධිපතිතුමාට ලියලා අරිනවා. පුළුවන් වුනොත් හම්බවෙලා කියනවා. මේ මනුස්සය මේකට කැමැති වෙයි කියලා මම හිතනවා.”

සුසන්ත මහ හඬින් හිනාවෙන්න පටන් ගත්තා.

ඒ කියන්නේ මේ රටේ ස්වර්ගය ගොඩනඟන්න සුනිල් අයියත් දායක වුණා.”

”හැදිච්ච දරුවෝ ඉන්න රටකට තමයි මචං ස්වර්ගය කියන්නේ”

Everyone Deserves a Bright Future…..

Posted by sisirahb | Posted in Uncategorized | Posted on 30-11-2009

As you may know,many academically outstanding children in Sri Lanka have to give up their dreams at early stages of their education due to insufficient financial resources….

HOW CAN YOU BE A PART OF REALIZING CHILDREN’S DREAMS?

SRI LANKA CANADA SCHOLARSHIP FOUNDATUIN is a volunteer organization registered in British Columbia, Canada to help the needy students in Sri Lanka.

FOR MORE INFORMATION….available @ www.slcsf.org

Hello world!

Posted by sisirahb | Posted in Uncategorized | Posted on 31-10-2009

myblog.lk වෙත සාදරයෙන් පිළිගනිමු. මේ ඔබේ පළමු ලිපියයි. එය මකාදමන්න, නැතිනම් එය සංස්කරණය කර බ්ලොග්කරණය අරඹන්න!